Saturday, February 19, 2011

මගෙ බිසවුනේ අසාපන්...

අද මම කියන්නෙ යන ගීතය තමයි ගුණදාස කපුගේ මහත්මයගෙ "මගෙ බිසවුනේ අසාපන්..." කියන ගීතය. මේ ගීතය පසුපස හරි ලස්සන කතාවක් තියෙනව කියල කුඩ්ඩට ආරංචි උනා. ඒ තමයි මේ ගීතය ලියන්න පසුබිම් වෙච්ච කතන්දරේ. ඔය රත්න ශ්‍රී විජේසිංහයන් කියන්නෙ බොහොම කෙලින් මිනිහෙක්ලු. එතුමා වෘත්තියෙන් ගුරුවරයෙක්. ඉතිං දන්නවනෙ ලංකාවෙ කෙලින් වැඩ කරන, ඇත්ත කථා කරන මිනිස්සුන්ට ලැබෙන වරප්‍රසාද. ඉතිං රත්න ශ්‍රී මහත්තයටත් "හුලංදාව" කියන දුෂ්කර පලාතට මාරුවක් ලැබිල. මෙතුමා ඔය සමහර ඇත්තො වගේ තමන්ගෙ මාරුව වෙනස් කරගන්න එක එක ලොක්කො පස්සෙ ගිහින් නෑ. ඒ පලාතෙ ඉන්න අහිංසක ලමයි ගැනත් හිතල ඒ ගමට යන්න තීරණය කරල. ඉතිං මේ මහත්තයගෙ නෝනත් ඔය ගමන එන්න ඕනෙයි, මහත්තයට විතරක් තනියෙන් යන්න දෙන්න බෑ කියල අඬන්න අරගෙන. ඇත්තනෙ ඉතිං තමුන්ගෙ ස්වාමිපුරුෂයගෙන් වෙන්වෙලා ඉන්න එක තමන්ගෙ ස්වාමියට ආදරේ කරන ගෑනියෙකුට කොයි තරම් අමාරු කාරණයක්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඉතිං තමුන්ගෙ ආදරණීය බිරිඳගෙ සිත සනසන්න තමයි රත්න ශ්‍රී විජේසිංහයන් ඔය ගීතය ලියල තියෙන්නෙ...

බලන්න කොච්චර අපූරුවට තමන්ගෙ බිරිඳ සහ දරුවො කෙරෙහි ඇති ස්නේහය විස්තර කරල තියෙනවද කියල. අද කාලෙ අඟහිග ආපු ගමන් ගෑනි රට පටවන මිනිස්සුන්ට කොච්චර අපූරු උදාහරණයක්ද. මේකෙ සුවිශේෂ තැන් කිහිපයක් තියෙනව.


"දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම් දම්"

මේක ගලපල තියෙන්නෙ වෙස්සන්තර ජාතක කතාවත් එක්කල...  බලන්න වෙස්සන්තර රජතුමාට සියුම් ලෙස එල්ල කරල තියෙන ප්‍රහාරය.

තමුන්ගෙ බිරිඳව උපමා කරල තියෙන්නෙ චන්ද්‍ර මඬලට... දරුවො එහි නිදන සා පැටව්ලු බලන්න කොච්චර ලස්සනට භාෂාව හසුරවල තියෙනවද කියල. අද තියෙන කොත්තු සිංදු වගේද. මේ ගීතයෙ සංගීතය වගේම ගායනයෙනුත් විශාරද ගුණදාස කපුගේ මහත්තය ගීතයට හොඳ සාධාරනයක් ඉටු කරල තියෙනව කියල හිතෙනව... හොඳයි ඔය තමයි ගීතය ගැන මගෙ අදහස්... බලමු ඔයාලට මොනවද මේ ගැන කියන්න තියෙන්නෙ කියල....

මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍රි දේවි නොවුනේ
දුෂ්කර වු ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී

මගෙ බිසවුනේ...//

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ

මේ කදුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුළී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසවු නගරේ

නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වහල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම් දම්

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ

මගෙ බිසවුනේ...//

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය සහ ගායනය - විශාරද ගුණදාස කපුගේ

Friday, February 18, 2011

සිංහල සිංදු ගැන සූට්ටක්...

මට සංගීතය ගැන මහලොකු දැනුමක්නම් නෑ ආයිබෝන්, ඒත් මේ දැන් දැන් අපේ පරණ සිංහල සිංදු වලට ගිහින් තියෙන කල බලං ඉන්න බැරිම තැන තමයි මේ වගේ බොලොග් එකකින් හරි අපේ සමහර පරණ සිංදු ටිකක් පොරොසිද්ද කරන්න බැලුවෙ.. අනේ අම්මප මට නම් ඔය ඉන්න "රාජ්" ලගෙ සිංදු ඇහෙද්දි ඇඟේ මාලු නටනව. සමහරවිට මං ඒවට ඔබින්නෙ නැති හම්පඩ අදහස් තියෙන අප්පුහාමි කෙනෙක් වෙන්ටැ මයෙ හිතේ. ඒත් මටනම් මේව බලන් ඉන්ට බෑ බෑමයි. කිසිම තේරුමක් තියෙනවද අම්මප දැන් ඇහෙන සිංදුවල. ඒකටත් එක්ක ඉස්සර සිංදු, කණට කොයි තරම් නම් මිහිරිද, කොච්චර අරුත්බරද ඈ... පද රචකයො ගත්තොත් කරුණාරත්න අබේසේකර, බන්දුල නානායක්කාරවසම්, ප්‍රේමකීර්ති ද අල්විස්, කුමාරදාස සපුතන්ත්‍රි ම්ම්ම්...... තව ආ.. රත්න ශ්‍රී විජේසිංහ තව මෑත කාලෙ අය ගත්තොත් නිලාර් එම් කාසිම් කොච්චර ලස්සන සිංදු ලියපු ඈයොද ඈ... එතකොට ගායක ගායිකාවො ගත්තම ගුණදාස කපුගේ, දිවුල්ගනේ, අමරදේව මාස්ටර්, නන්දා මාලිනි, තව..... සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, රෝහණ සිරිවර්ධන, සෝමතිලක ජයමහ, අබේවර්ධන බාලසූරිය, සනත් නන්දසිරි තනු නිර්මාණය පැත්තෙන් ගත්තොත් රෝහණ වීරසිංහ, එච් එම් ජයවර්ධන, කේමදාස මාස්ටර් මෑත කාලෙ ගත්තොත් සමන්ත පෙරේරා හපෝයි මතක් වෙන්නෙත් නෑ කලබොලේට අපි හිමීට එකින් එක ගැන කතා කොරමුකො පුළු පුළුවන් වෙලාවට...

එතකොට මේකෙ ආකුරුතිය ගත්තොත් මෙහෙමයි... ඉඩ තියෙන තියෙන වෙලාවට මම අපේ පරණ සිංදුවක පද පේලි සහ ගායකය, රචකය, තනු නිර්මාණ ශිල්පිය එතකොට ඇල්බම් එකේ නම වගේ හොයාගන්න පුලුවන් හැම විස්තරයක්ම දානව... ඒත් එක්කම සිංදුව බාගන්න ලින්ක් එකකුත් දානව... මම හිතනව මේක සිංහල බ්ලොග් අවකාශයට අලුත් වැඩක් වේවි කියල... අපි අපේ ගීත අභාවයට යානොදී රැකගනිමු... පුළු පුළුවන් වෙලාවට ඇවිත් අදහස් ප්‍රකාශකරල යන්ටෝනෙ එහෙනම් ඕන් ඈ... ජය වේවා...