Saturday, February 19, 2011

මගෙ බිසවුනේ අසාපන්...

අද මම කියන්නෙ යන ගීතය තමයි ගුණදාස කපුගේ මහත්මයගෙ "මගෙ බිසවුනේ අසාපන්..." කියන ගීතය. මේ ගීතය පසුපස හරි ලස්සන කතාවක් තියෙනව කියල කුඩ්ඩට ආරංචි උනා. ඒ තමයි මේ ගීතය ලියන්න පසුබිම් වෙච්ච කතන්දරේ. ඔය රත්න ශ්‍රී විජේසිංහයන් කියන්නෙ බොහොම කෙලින් මිනිහෙක්ලු. එතුමා වෘත්තියෙන් ගුරුවරයෙක්. ඉතිං දන්නවනෙ ලංකාවෙ කෙලින් වැඩ කරන, ඇත්ත කථා කරන මිනිස්සුන්ට ලැබෙන වරප්‍රසාද. ඉතිං රත්න ශ්‍රී මහත්තයටත් "හුලංදාව" කියන දුෂ්කර පලාතට මාරුවක් ලැබිල. මෙතුමා ඔය සමහර ඇත්තො වගේ තමන්ගෙ මාරුව වෙනස් කරගන්න එක එක ලොක්කො පස්සෙ ගිහින් නෑ. ඒ පලාතෙ ඉන්න අහිංසක ලමයි ගැනත් හිතල ඒ ගමට යන්න තීරණය කරල. ඉතිං මේ මහත්තයගෙ නෝනත් ඔය ගමන එන්න ඕනෙයි, මහත්තයට විතරක් තනියෙන් යන්න දෙන්න බෑ කියල අඬන්න අරගෙන. ඇත්තනෙ ඉතිං තමුන්ගෙ ස්වාමිපුරුෂයගෙන් වෙන්වෙලා ඉන්න එක තමන්ගෙ ස්වාමියට ආදරේ කරන ගෑනියෙකුට කොයි තරම් අමාරු කාරණයක්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඉතිං තමුන්ගෙ ආදරණීය බිරිඳගෙ සිත සනසන්න තමයි රත්න ශ්‍රී විජේසිංහයන් ඔය ගීතය ලියල තියෙන්නෙ...

බලන්න කොච්චර අපූරුවට තමන්ගෙ බිරිඳ සහ දරුවො කෙරෙහි ඇති ස්නේහය විස්තර කරල තියෙනවද කියල. අද කාලෙ අඟහිග ආපු ගමන් ගෑනි රට පටවන මිනිස්සුන්ට කොච්චර අපූරු උදාහරණයක්ද. මේකෙ සුවිශේෂ තැන් කිහිපයක් තියෙනව.


"දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම් දම්"

මේක ගලපල තියෙන්නෙ වෙස්සන්තර ජාතක කතාවත් එක්කල...  බලන්න වෙස්සන්තර රජතුමාට සියුම් ලෙස එල්ල කරල තියෙන ප්‍රහාරය.

තමුන්ගෙ බිරිඳව උපමා කරල තියෙන්නෙ චන්ද්‍ර මඬලට... දරුවො එහි නිදන සා පැටව්ලු බලන්න කොච්චර ලස්සනට භාෂාව හසුරවල තියෙනවද කියල. අද තියෙන කොත්තු සිංදු වගේද. මේ ගීතයෙ සංගීතය වගේම ගායනයෙනුත් විශාරද ගුණදාස කපුගේ මහත්තය ගීතයට හොඳ සාධාරනයක් ඉටු කරල තියෙනව කියල හිතෙනව... හොඳයි ඔය තමයි ගීතය ගැන මගෙ අදහස්... බලමු ඔයාලට මොනවද මේ ගැන කියන්න තියෙන්නෙ කියල....

මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍රි දේවි නොවුනේ
දුෂ්කර වු ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී

මගෙ බිසවුනේ...//

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ

මේ කදුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුළී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසවු නගරේ

නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වහල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම් දම්

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ

මගෙ බිසවුනේ...//

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය සහ ගායනය - විශාරද ගුණදාස කපුගේ

2 comments:

  1. රත්ගමස්ගේ බ්ලොග් එකේ කොමෙන්ටුව දැකලයි හොයාගෙන හොයාගෙන මෙ පැත්තේ ආවේ අයියා.. මම හරි ආසයි ගීතයක ඇතුලෙ හැංඟිලා තියන කතාව හා ඒ ගීතය ලියන්න පාදක වුන කතාව කියවන්න.. පුදුම අර්ථන්විතයි... ඉදිරියටත් ලියන්න.. මං බලං ඉන්නවා තවත් ගීතය්ක් ගැඅන කියනකම්..:)

    ReplyDelete
  2. @ප්‍රාර්ථනා
    බොහොම ස්තූතියි නංගියො මේ පැත්තෙ ආවට ලියන්න දේවල්නම් ගොඩක් තියෙනවා... වෙලාව තමයි ප්‍රශ්නෙ... මම මේ පැත්තෙ ආවෙත් අද කාලෙකට පස්සෙ... :D

    ReplyDelete